Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Take Off (2017) with Sinhala Subtitles |රුදුරු ත්‍රස්ත බිමේ, දිවි ගලවාගැනීමේ මෙහෙයුම! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

මේ ලෝකය හරිම පුදුමාකාරයි. මේ පුදුමාකාර ලෝකෙයේ එක එක විදියේ මිනිස්සු ඉන්නවා. ප්‍රධාන වශයෙන් මේ මිනිස්සුන්ව කොටස් දෙකකට බෙදන්න පුළුවන්. දුප්පත් මිනිස්සු සහ පෝසත් මිනිස්සු විදියට. සමහර මිනිස්සු ධනයෙන් පෝසත් වුණත්, හිතේ කිසිම සතුටක් නැහැ. තවත් සමහර මිනිස්සු හිතේ කොච්චර සතුටින් හිටියත්, අතේ සතේ නැහැ. තවත් සමහරු ඉන්නවා, අතේ මිටේ ලොකු සල්ලියකුත් නැහැ, ඒ නිසාම තියෙන කරදර ප්‍රශ්න නිසා හිතේ සතුටකුත් නැහැ. එක ප්‍රශ්නයක් යද්දී, ඒ අඩුව පුරවන්න තව ප්‍රශ්න දෙක තුනක් මතුවෙනවා. තවත් සමහරු ඉන්නවා, සල්ලිත් තියෙනවා, හිතේ සතුටත් තියෙනවා. හැබැයි මේ විදියේ මිනිස්සු හොයන්න හරිම අමාරුයි. වර්තමාන ජීවන රටවත් එක්ක, මිනිසා කාර්‍ය බහුල වීමත් සමගින්, මිනිස් ජීවිත පුදුමාකාර මාවතකට ඇදිලා ගිහිල්ලා තියෙන්නෙ. බලයට, ධනයට ඇති ගිජුකම නිසාවෙන් මිනිස් හිත දූෂණය වීමට ලක්වෙලා තියෙනවා. මේ දූෂිත මිනිස් සිත නිසාවෙන් අනන්ත අප්‍රමාණ වූ අපරාධයන් සංඛ්‍යාවක්, එක් දිනයක් ඇතුළත මේ ලොව තුල සිදුවෙනවා. මේ අපරාධ වලින් ලොකුම අපරාධයක් තමයි යුද්ධය! දශක ගණනාවක් යුද්ධයෙන් බටකෑ රටක් ලෙස, යුද්ධයේ ඇති අමිහිරි බව පිළිබඳව අපිට අමුතුවෙන් විස්තර කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ජීවිත දස දහස් ගණනින් නැතිවෙන්න ඇති. ලක්ෂ ගණනක් ආබාධිත වෙන්න ඇති. නමුත්, මේ නැතිවෙච්ච ජීවිත ආපහු ගෙනත් දෙන්න පුළුවන්ද? ආබාධිත වෙච්ච අයගේ ආබාධිත බව නැතිකරන්න පුළුවන්ද? අපි මොනවා කළත්, යුද්ධය නිසා අපිට අහිමි වෙච්ච දේවල් නැවත ලැබෙන්නෙ නැහැ. කොච්චර කටුක වුණත්, ඒක තමයි පරම සත්‍ය. නමුත්, එහෙමයි කියල කවදාවත් මේ ලෝකෙන් යුද්ධය තුරන් වෙනවද? ඔබ දන්නවද, මේ මොහොතේ පවා ලෝකේ කොහේ හරි යුද්ධයක් සිද්ධවෙනවා කියල? මේ මොහොතේ පවා, යුද්ධයේ ප්‍රතිඵලයක් විදියට මිනිස් ජීවිත අහිමි වෙන බව? ඒ වගේම ඔබ දන්නවාද, ජීවිතයත් මරණයත් අතර සටන් කරන්නා වූ මිනිසුන්ට මරණය වෙත යෑමට ඉඩ නොදී සුවපත් කිරීම සඳහා දිවා රෑ නොබලා, තමන්ට හැකි උපරිමයෙන් ඇප කැප වෙන්නා වූ මිහිපිට බට දෙවිවරුන් පිරිසක්, මේ මොහෙතේදී පවා සිය උපරිමයෙන් දායකත්වය ලබා දෙන බව? එක ජීවිතයක් බේරගත්තොත් ඔබ වීරයෙක් වේවි… නමුත්, ජීවිත සිය ගණනක් බේරාගන්නවා නම්, ඔබ අනිවාර්‍යයෙන්ම හෙද සේවයේ නියකු අභිමානවත් පුද්ගලයෙකු විය යුතුයි!!!

සමීරා! දුප්පත් පවුලක එකම ගැහැණු දරුවා. අනෙක විදි දුක් කම්කටොලු මැද, සිය දෙමව්පියන් ලෝකයාට ණය වී ඇයට ලබාදුන් අධ්‍යාපනයේ පිහිටෙන් හෙදියක් බවට පත්වෙනවා. නමුත් අවාසනාව කියන්නෙ, මෙතරම් උතුම් සේවයක නියතු මෙම වෘත්තිකයන්ට ලැබෙන්නෙ ඉතාමත් සොච්චම් පඩියක් වීමයි. අඩු තරමේ, ලබාගත් ණය මුදලේ පොළිය ගෙවීමට පවා මෙම තත්වයේදී අපහසු වෙනවා. කිසිඳු පිළිසරණක් නොමැතිව අසරණ වන මෙම තරුණියට, සිය දෙමව්පියන් ණය බරින් නිදහස් කරනු පිණිස විදේශගත වී රැකියාවක යෙදීම හැර අන් කිසිඳු විකල්පයක් නැති වෙනවා. අහස උසට බලාපොරොත්තු පොදි බැඳගෙන, ලොකු මාසික වේතනයක සුන්දර බලාපොරොත්තු සිය සිත් සතන් හි පුරවාගෙන, ඇය මේ කොයිබද යන්නේ? වසර ගණනාවක් පුරාවට පැවති අතිශය දරුණු සදාම් හුසේන් පාලනය නිමාවීමෙන් පසුව, නීතිය වල් වැදී ගිය, ලේ පිපාසිත කුරිරු ත්‍රස්තවාදීන්ගේ පාරාදීසයක් වූ, මිහිපිට අපායක් බඳු වූ ඉරාක දේශය වෙතයි ඇය මේ පා තබන්නෙ. මේ රටේ සැබෑ තත්වය පිළිබඳව අංශු මාත්‍රයක් හෝ දැන සිටියා නම්, ඉදිරියට තම ජීවිතයට සිදුවීමට ඇති මහත් අභාග්‍යසම්පන්න කාල වකවානුව පිළිබඳව ඉවෙන් හෝ වැටහුණා නම්, මෙම අතිශය බිහිසුණු ඉරාක දේශය දෙස බැල්මක් හෝ හෙලන්නට පෙර සිය දහස් වතාවක් ඇය කල්පනා කර බලන්නට තිබුණා. නමුත්, ඇයගේ දෛවය පැහැදිළි ලෙසම ලියවී තිබුණා. සිය දෙමාපිය-හිතවතුන්ගේ විරෝධය නොතකා, යහපත් අනාගතයක සුභ සිහින කරපින්නාගෙන ඇය සමග ඉරාක දේශයේ හෙද වෘත්තීය පිණිස පැමිණි ඉන්දියානු හෙද කණ්ඩායමේ ඉරණම කුමක් වේද? කිසිඳු හිතවතෙකු නොමැති, අමනුෂ්‍යයන් මෙන් දරුණු ත්‍රස්තවාදීන් පිරි රටක, දිනපතාම රුධිර ගංගා වලින් පොලෝ තලය සේදී යන්නා වූ බිහිසුණු රටක වා තලයට ඔවුන්ගේ අවසන් හුස්ම පොදත් මුසු කිරීමට තරම් ඔවුන්ගේ දෛවය අකාරුණික වේද?

Survival සහ Thriller යන කාණ්ඩ නියෝජනය කරමින්, 2017 වර්ෂයේ අප්‍රේල් මස 7 වන දින තිරගතවීම ආරම්භ කරන ලද, මලයාලම් බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් තමයි මේ වතාවේ අරගෙන ආවේ. වැඩි අටුවා ටීකා අවශ්‍ය වෙන්නේ නැහැ, 1200 ඉක්මවූ ප්‍රේක්ෂක සංඛයාවකගේ මනාපයෙන් 8.7 ක් වැනි ඉහළම අගයක් දක්වා කැරකුණු imdb දර්ශකය මේ අනර්ඝ සලරුව පිළිබඳව මැනවින් සාක්ෂි සපයාවි. ඉන්දියානු රුපියල් කෝටි හතක බරපැනක් දරමින්, ඉන්දියාවේ කේරල ප්‍රදේශයේ සහ ඩුබායි රාජ්‍යය තුල රූගත කරමින්, ඉන්දියානු රුපියල් කෝටි 30 ඉක්මවමින් බොක්ස් ඔෆිස් වාර්තාවක් හිමිකරගත් මෙමෙ සළරුව, 2015 වර්ෂයේදී සිදුවූ සත්‍ය කතාවක් පදනම් කරගනිමින් නිෂ්පාදනය වූවකි. ඇඟ හිරිගඬු පිපෙමින්, අමුතුම හැඟීමකින් හදවත පුරවන්නා වූ පසුබිම් සංගීතය, දේශානුරාගය වඩවන්නා වූ අභිමානවත් දෙබස්, හදවතේ සියුම්ම තැනකට පහර දෙන්නා වූ දර්ශන… මේ සියල්ලක්ගෙන්ම ඔබට හරි අපූරු සිනමා වින්දනයක් අනිවාර්‍යයෙන්ම ලැබේවි. ඔබ සංවේදී පුද්ගලයෙකු නොවෙන්න පුළුවන්. හැබැයි, සමහර දර්ශන හමුවේ එක කඳුළු බිඳක් හෝ ඔබගේ දෙනෙතින් කඩා වැටුනේ නැත්නම්, අවිවාදයෙන්ම ඔබගේ මිනිසත්කම ගැන ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙනවා. නරඹන්න… රස විඳින්න… ජීවිතයේ සදා අමතක නොවෙන සිනමා අත්දැකීමක හිමිකරුවෙකු වෙන්න…

ප. ලි. – මීට වසර කීපයකට කලින් බයිස්කෝප් අඩවියේ මලයාලම් චිත්‍රපටයක උපසිරසියක් පළවුණේ බොහොමත්ම කලාතුරකින්. ඒකට හේතුව තමයි, ඉතාමත් සීමිත ප්‍රේක්ෂක සංඛාවක් තමයි මේ මලයාලම් සිනමාව වටා එක්රොක් වෙලා හිටියෙ. හැබැයි කියන්නත් සතුටුයි, කෙටි කාලයක් තුල මේ ප්‍රේක්ෂක සංඛාව ඉතාමත් ශීග්‍ර ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒකාකාර චිත්‍රපට රටාවෙන් මිදිලා, ප්‍රේක්ෂකයාට නැවුම් වූ ඉහළ රසවින්දනයක් ලබාගැනීමට හැකි ආකාරයෙන් නිෂ්පාදනය වෙන නිසාම ප්‍රේක්ෂකයා මලයාලම් සිනමාව බොහොම ආදරයෙන් සාදරයෙන් පිළිගත්තා. හැබැයි තවමත් ඉන්නවා, “අපෝ මලයාලම් චිත්රපටිද? මෙලෝ රහක් නැහැ! අපිට නම් එපා ඔය ජරාව!” කියන ජාතියේ අය. හැබැයි හොඳම විහිලුව කියන්නෙ, මෙහෙම කියන කිසිම කෙනෙක් එකම මලයාලම් චිත්‍රපටියක් වත් බලලා නැහැ. ඔබත් තවම මලයාලම් චිත්‍රපට බලලා නැත්නම්, වගකීමෙන් කියනවා, ඔබ මලයාලම් චිත්‍රපට නැරඹීමට යොමුකරන හැරවුම් ලක්ෂය මෙය වෙන්න පුළුවන්. දෙපාරක් හිතන්නේ නැතුව අරගෙන බලන්න.

ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ, මලයාලම් චිත්‍රපට රසිකයන්ට මේ අවුරුද්ද නම් කිරියෙන් පැණියෙන් ඉතිරෙන, බොහොම සුභ අවුරුද්දක් වේවි. මොකද, අති විශිෂ්ට මලයාලම් චිත්‍රපට කීපයක්ම මේ අවුරුද්දෙදි නිකුත් වුණා. විශේෂයෙන්ම, මේ වසරේ දැනට වැඩිම ප්‍රේක්ෂක අවදානයක් මෙන්ම, ඉහළම ප්‍රතිචාරයක් ලබාගත්, මම්මුතී සහ ආර්යා රංගනයෙන් දායක වෙමින්, ඉන්දියානු රුපියල් බිලියනයක ආදායම් වාර්තාවක් තැබූ දෙවන මලයාලම් චිත්‍රපටය බවට පත් වූ The Great Father චිත්‍රපටය ඉදිරියේදී ඔබට දැකගැනීමට භාග්‍ය උදා වේවි. ඒ වගේම, ඉන්දියානු රුපියල් කෝටි 30ක බරපැනක් දරමින්, මලයාලම් සිනමාව කළඹවාලීමට මාන බලමින් සිටින්න වූ, මලයාලම් සුපිරි තරුව Prithviraj Sukumaran ගේ නවතම සිනමා සම්ප්‍රාප්තිය වන, Tiyaan චිත්‍රපටය, ජූනි මස 29 වනදා පටන් සිනමා ශාලා ආක්‍රමණය කරනු ඇත. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ, පොඩිම තැනින් පටන් අරගෙන, මේ වෙද්දී හින්දි සිනමාවට පවා අභියෝග කිරීමට සමත්කම් ඇති මලයාලම් සිනමාව, තමන් දෙස උපහාසයෙන් බැලූ හැමදෙනාටම හොඳ කම්මුල් පාරක් දෙමින්, ඉන්දීය සිනමාවේ දැවැන්තයා බවට පත්වෙන දිනය නම් වැඩි ඈතක නෙමෙයි.

එහෙනම්, ගිහිල්ලා එන්නම්. තවත් චිත්‍රපටයකින් හමුවන තෙක්, හැමදෙනාටම ජයවේවා!!!

Take Off (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

TamilRockers.nu – Take Off (2017) Malayalam Original DVDRip x264 700MB ESUBS.mkv

ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>