මගේ දහතුන්වන උපසිරැසිය සමඟ නැවතත් ඔබ වෙත ගෙන එන්නෙ තවත් දාම ඝාතකයෙක් (Serial Killer) සම්බන්ධ ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටය 1888 දී පමණ ලන්ඩනයේ සිටි කාන්තාවන් ඉතා සහාසික ලෙස කපා කොටා ඝාතනය කල Jack The Ripper (ජැක්, ඉරා දමන්නා) නම් වියරු ඝාතකයා සහ ඔහුට එරෙහිව කෙරුණු පොලිස් පරීක්ෂණ සම්බන්ධව නිර්මාණය වුණු චිත්‍රපටයක්. මේ ඝාතකයා සම්බන්ධව බටහිර සිනමා ලෝකයේ නිර්මාණය වුණු චිත්‍රපට ප්‍රමාණය අතිවිශාලයි. මෙම චිත්‍රපටයෙත් සත්‍ය පුද්ගල නාම සහ ස්ථාන නාම එලෙසින්ම චිත්‍රපටය සඳහා භාවිතා කර තිබෙනවා.
“…යම් දිනෙක මිනිසුන් ඉතිහාසය දෙස ආපසු හැරී බලා
විසිවැනි සියවසට උපත දුන්නේ මා යැයි පවසනු ඇත…”
– ජැක්, ඉරා දමන්නා – 1888.
මේ විධියට තමන් ගෙ මිනීමැරුම් ගැන උදම් අනපු මේ වියරු ඝාතකයා 1888 වසරේ ලන්ඩනයේ වයිට්චැපල් දිස්ත්‍රික්කයේ වාසය කල ලිංගික සේවිකාවන් ඉතා බිහිසූණූ අන්දමින් ඝාතනය කර ඔවුන්ගේ ඇතැම් අවයව කපා ඉවත් කර තිබුණේ තම ශල්‍යවෛද්‍යමය හැකියාවද ප්‍රදර්ශනය කරමින්. Jack The Ripper මිනීමැරුම් සම්බන්ධව පොලිසියටත්, පුවත්පත් ආයතන වලටත් තවත් අයටත් සියගණනක් ලිපි ලැබී තිබෙනවා. එයින් මේ ඝාතකයා විසින්ම රචනා කල බව සැක කෙරෙන ප්‍රධාන ලිපි තුනක් තිබෙනවා: “Dear Boss” ලිපිය, “From Hell” ලිපිය, “Saucy Jacky” තැපැල්පත යනු ඒ තුනයි. කෙසේවෙතත් ඔහු අතින් ඝාතනය වුණු පුද්ගලයන් සංඛ්‍යාව අඥාතයි. මේ ඝාතන සම්බන්ධව විමර්ෂණ දියත් කල ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය අභියෝගයට ලක් කරමින්, මේ මිනීමැරුම් වලින් බොහොමයක් නොවිසඳුණු ගැටළු ලෙස ඉතිහාසයට එක්වුණා.
මේ චිත්‍රපටය සඳහා පාදක කරගෙන තිබෙන්නේ Alan Moor සහ Eddie Campbell විසින් රචනා කළ From Hell නම් කෘතියයි. මේ චිත්‍රපටය ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ (IMDb) ලබාගත් අගය 6.8/10 ක්. ඇමෙරිකානු ඩොලර් මිලියන 35 ක වියදමක් දරා නිෂ්පාදනය කල From Hell චිත්‍රපටය ඉපයූ සමස්ත ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 74 ඉක්මවා යනවා. From Hell අධ්‍යක්ෂණය කළේ Albert Hughes සහ Alan Hughes විසින්. මුල්වරට තිරගත වුණේ 2001 ඔක්තෝබර් 19 වැනිදා.
මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා:
Jonny Depp – පොලිස් පරීක්ෂක ෆෙඩ්රික් ඇබර්ලයින් ලෙස,
Heather Graham – මේරි ජේන් කෙලී ලෙස,
Ian Holm – සර් විලියම් ගල් ලෙස,
Robbie Coltrane – පීටර් ගොඩ්ලි ලෙස,
Ian Richardson – සර් චාල්ස් වොරන් ලෙස,
Katrin Cartlidge – අඳුරු ඇනී චැප්මන් ලෙස,
Joanna Page – ඈන් කෘක් ලෙස,
Samantha Spiro – මාර්තා ටේබ්‍රම් ලෙස.
මේ චිත්‍රපටය හදිසි කම්පන සහ සංවේදී දර්ශන දරාගන්න බැරි අයට නැරඹීමට නුසුදුසු බව කියන්න ඕනෙ. ඒ වගේම මෙහි අන්තර්ගත ඇතැම් දර්ශන සලකා බැලුවම මේක අතිශයින්ම 18+ ලෙසයි වර්ග කිරිම නිවැරදියි. සුපිරිම අපරාධ චිත්‍රපටයක්. බාගෙන බලන්නකො! අමතක නොකර Comment එකක් දාලම යන්න හොඳේ!!
ඔබට ජය!!
1670 downloads